Monsters: The Lyle and Erik Menendez Story (2024) [S02:E01] Sinhala Subtitles | “මිනීමරු සහෝදර සමාගම” [සිංහල උපසිරැසි සමඟ]
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
හොඳයි, මිත්‍රවරුනි මගේ එකසිය විසි දෙවැනි සිංහල උපසිරැසි නිර්මාණය සමඟින් ඔබ වෙත රැගෙන එන්නේ පහුගිය සැප්තැම්බර් වල නිකුත් වුණු අලුත්ම කතා මාලාවක්. ඒ තමයි 2024 සැප් 19 මුල්වරට Netflixහි විකාශය කෙරුණු Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාව. මේක Dahmer – Monster: The Jeffrey Dahmer Story කතා මාලාවේ දෙවැනි කතා සමය ලෙසින් එහිම නිර්මාණ ශිල්පින් වුණු රයන් මර්ෆි සහ ඉයන් බ්‍රෙනන් විසින් නිර්මාණය කෙරුණක්. රයන් මර්ෆි කියන්නේ කවුද කියල දන්නවනේ? මීට කළින් American Horror Story, American Crime Story, The Watcher, Scream Queens, 9-1-1 වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය නිර්මාණය කළේ ඔහු විසින්.
IMDb දර්ශකයේ 7.8/10ක අගයක් ලබාගත් මේ කතා මාලාව ගෝලීය වශයෙන් දැවැන්ත මූල්‍ය සාර්ථකත්වයක් හිමිකර ගනු ලැබුවේ, ලොව පුරා අංක එකේ නෙට්ෆ්ලික්ස් කතා මාලාව බවට පත්වෙමින්. නිකුත් වීමෙන් දින හතරකට පසු දර්ශන වාර මිලියන 12.3ක් ඉක්මවන්නට Monsters කතා මාලාව සමත් වුණා.
කොටස් නවයකින් සමන්විත වන මේ කතා මාලාව කේන්ද්‍රගත වෙන්නේ 1989 අගෝස්තු 20 වැනිදා කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හි පිහිටි සුවිසල් මන්දිරයක සිදුවුණු සූප්‍රකට මෙනෙන්ඩස් ඝාතනය වෙතයි. එනම් ලයිල් මෙනෙන්ඩස් (Nicholas Alexander Chavez) සහ එරික් මෙනෙන්ඩස් (Cooper Koch) යන සොහොයුරන් දෙදෙනා විසින් ඔවුන්ගේ දෙමව්පියන් වන හෝසේ මෙනෙන්ඩස් (Javier Bardem) සහ කිටී මෙනෙන්ඩස් (Chloë Sevigny) යුවළට පතොරම් තුවක්කු දෙකක් ආධාරයෙන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය කේන්ද්‍ර කරගනිමිනුයි. මාපිය ඝාතනය කියන්නේ ලොව බොහෝ සංස්කෘතීන්ට සාපේක්ෂව ගත්තත්න් නීතිමය අතින් ගත්තත් සාමාන්‍යයෙන් කෙනෙක් කරන්න නොපෙළඹෙන බරපතළ අපරාධයක්. එහෙම නම් මේ මෙනෙන්ඩස් සහෝදරයන් මේ මහා අපරාධය කළේ ඇයි? තම දෙමව්පියන්ගෙන් උරුම වන්නට තිබුණු දැවැන්ත ධනස්කන්ධය තමන් සතු කරගැනීමටද? නොඑසේ නම් මාපියන් ඝාතනය කිරීම හැර අන් විසඳුමක් නැති කිසියම් බරපතළ ප්‍රශ්නයකට ඔවුන් මුහුණ දී සිටියාද? මේ ගැන දශක කිහිපයක් තිස්සෙම විවිධ අර්ථකතන සහ වාද විවාද බොහොමයක් පැවතුණා. එකී ඝාතනය හා බැඳුණු සත්‍ය සිදුවීම්, එම ඝාතනයට හේතු වුණු අතීත සිදුවීම් මෙන්ම ඝාතනයේ නඩුව විභාග කෙරුණු ආකාරය පිළිබඳ සත්‍ය කරුණු නාට්‍යෝචිත ආකාරයකින් පෙළගස්වමින් රයන් මර්ෆි විසින් ගොඩනඟන ලද එම කතාන්දරයේ ටෙලි අනුවර්තනයයි මේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාව.
මෙහි කතාව ඔබ හමුවේ දිගහැරෙන්නේ ‘රැෂොමොන් ආචරණය’, එනම් බහුවිධ දෘෂ්ටිකෝණ යොදාගනිමින් කතාවක් ඉදිරිපත් කිරීමේ ආකෘතිය යොදාගනිමිනුයි. මූලික වශයෙන් මෙනෙන්ඩස් සහෝදරයන්ගේ දෘෂ්ටි කෝණය ප්‍රධාන කොට පාදක කරගන්නා අතර පසුව එය දෙමව්පියන්ගේ සහ අනෙකුත් දෘෂ්ටිකෝණ කරා විහිද යන්නේ කතා මාලාවේ ඉදිරිපත් කෙරෙන සමස්ත සිදුවීම ගැන විවිධ දෘෂ්ටිකෝණ පදනම් කරගත් පුළුල් අවබෝධයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙමින්. එහිදී ඔවුන්ගේ ඝාතක මනස් නිර්මාණය වීමට ඔවුන් කුඩා කළ සිට බලපෑ සාධක ද සවිස්තර ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන්නේ දෙසොහොයුරන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් කෙරෙහිද යම් මානුෂිය සහකම්පනයක් ඇති කරමින්.
මෙනෙන්ඩස් පවුලේ සමූහ ඡායාරූපයක් (ඉහළ), එය කතා මාලාවේ ප්‍රතිනිර්මාණය වුණු අන්දම ( පහළ)
මෙය නිකුත් වුණු දිනයේ සිටම ප්‍රේක්ෂකයන්ගේ විවිධ යහපත් සහ අයහපත් ප්‍රතිචාර වලට ලක් වූ අතර එහි රංගන ශිල්පීන්ගේ, විශේෂයෙන්ම Javier Bardem සහ Cooper Kochගේ තාත්වික රංගනයන් අතිශය ප්‍රශංසාවට ලක් වුණා. දෙවැනි කතා සමයේ වාණිජ සාර්ථකත්වයත් සමඟින්, මේ කතා මාලාවේ තුන්වැනි එනම් මීළඟ කතා සමය කුප්‍රකට දාම ඝාතක Ed Geinගේ චරිතය පාදක කරගනිමින් මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බවට වාර්තා වන අතර එහි එඩ් ජෙන්ගේ චරිතය නිරුපණය කරන්නේ Charlie Hunnam විසින්..Ed Gein කියන්නේ Silence of the Labms, The Psycho වගේ සිනමාපට වලට ආභාෂයක් වුණු 20 වන සියවස මුල් කාලයේ හිටපු ලොව සලිත කළ දාම ඝාතකයෙක්. ඒ කතා මාලාවත් නිකුත් වුණු පසුව නුදුරු අනාගතයේදීම බයිස්කෝප් වෙතින් ඔබ වෙත ඒවි!
Monsters S03 හි කුප්‍රකට දාම ඝාතක එඩ් ජෙන් (වමේ) සහ එම චරිතය නිරූපණය කරන Charlie Hunnam (දකුණේ)
කෙසේ වෙතත් මේ වනවිටත් සිර දඬුවම් භුක්ති විඳින මේ සිදුවීමට සත්‍ය වශයෙන් මුහුණදුන් මෙනෙන්ඩස් සහෝදරයන් මෙන්ම ඔහු වෙනුවෙන් අධිකරණයේ සටන් කළ පවුලේ ඥාතීනුත් මේ කතා මාලාවෙන් තමන්ගේ චරිත හුවාදක්වෙන අන්දම ගැන නොසතුට පළ කරන්නේ එයින් තමන්ගේ චරිත ඝාතනයන් සිදු වන බවට චෝදනා කරමින්. මීට හේතුව මෙනෙන්ඩස් සහෝදරයන් දෙදෙනා අතර ව්‍යාභීචාරි විකෘති ලිංගික සම්බන්ධයක් ඇති බවක් ඇඟවෙන ලෙසින් නිර්මාණය කර තිබීමයි. ඊටත් අමතරව මෙනෙන්ඩස් පවුලේ අභ්‍යන්තර සිදුවූ ලෙසින් අර්ථ දැක්වෙන විකෘති ලිංගික වයාභිචාරී ක්‍රියාවන් සත්‍ය වශයෙන් සිදුවුණු ඒවා නොවන බවට මෙනෙන්ඩස් පවුලේ ඥාතින් Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාව තදබල ලෙස විවේචනයට ලක් කළා.
ලයිල් සහ එරික් (ඉහළ) සහ එම චරිත නිරූපණය කරන නිකොලස් චාවේස් සහ කූපර් කෝච් (පහළ)
මේ කරුණු අනුව සත්‍ය සිදුවීමේ කතාව සහ ටෙලිනාට්‍යය මඟින් ගෙන හැර දක්වන කතාව මුළුමනින්ම එකම කතාවක් නොවන බව වටහා ගැනීම වැදගත් යැයි මා සිතනවා. මේ කතා මාලාව සත්‍ය සිදුවීමේ රයන් මර්ෆි අනුවර්තනය ලෙස අර්ථකථනය කිරීම වඩා සාධාරණ බවයි මගේ හැඟීම. කෙසේ වෙතත් මේ වන විටත් මේ සිද්ධියට මුහුණ දුන් සත්‍ය මෙනෙන්ඩස් සහෝදරයන් සිරභාරයේ පසුවෙනවා. මේ කතා මාලාව ජනප්‍රිය වීමත් සමඟ නැවත වරක් මෙනෙන්ඩස් සහෝදරයන් නිදහස් කිරීමට යම් කිසි ජනතා බලපෑමක් නිර්මාණය වීමට පදනම සැකසී තිබෙනවා. එහෙමනම් වැඩිය විස්තර නැතිව අපි අද කොටසේ කතාව වෙත යොමුවෙමු.
මෙනෙන්ඩස් යුවළ ඝාතනය කෙරුණු බෙවර්ලි හිල්ස් වල පිහිටි සුඛෝපභෝගී මන්දිරය 1989 කාලයේ.
අද පළ වන කතාංගය ගැන:
පළමුවැනි කොටස – “Blame It on the Rain” – “වැස්සට දොස් පවරන්න!”
අධ්‍යක්ෂණය – Carl Franklin
තිර රචනය – Ryan Murphy & Ian Brennan
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 19 සැප්තැම්බර් 2024
IMDb Ratings – 7.9/10
අද කතාව ආරම්භ වෙන්නේ 1989න්. කිටී සහ හෝසේ මෙනෙන්ඩස් යුවළ බෙවර්ලි හිල්ස් හි මන්දිරයේදී ඝාතනය වීමෙන් පසුව FBI මඟින් ලයිල් සහ එරික් මෙනෙන්ඩස් තාවකාලිකව අත්අඩංගුවට ගනු ලබනවා. සහෝදරයන් දෙදෙනා මුලින්ම කියන්නේ මේ ඝාතනය දාමරික කල්ලියක් විසින් කරන්නට ඇති බවයි. තමන්ගේ දෙමව්පියන් මරා දැමෙන අන්දම නිතර නිතර සිහිනයෙන් දැක බියවන එරික්, සහනයක් ලබාගන්නට වෛද්‍ය ඔසීල් වෙත පැමිණෙනවා. සම්පූර්ණ සිද්ධිය ගැන වෛද්‍ය ඔසීල් එරික්ගෙන් විමසන අතර තම දෙමව්පියන් තමන් දෙදෙනා විසින් ඝාතනය කළ බව එරික් වෛද්‍ය ඔසීල්ට පාපොච්චාරණය කරන්නේ, වෛද්‍ය-සේවාදායක රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ කොන්දේසි අනුව තමන්ගේ රහස ආරක්‍ෂිත වනු ඇති බව සිතමින්, මානසික වධයෙන් නිදහසක් ලබන්නටයි. එරික්ගේ පාපොච්චාරණය හමුවේ වෛද්‍ය ඔසීල් කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද? එරික් ඔසීල්ට පවසන අන්දමින් ඝාතනයට හේතුව කුමක්ද? කුතුහලය රඳවා තබා ගනිමින් උද්වේගකර ලෙස දිවෙන අද කොටසින් මේ ගැන දැනගනිමු.
මෙහි සිංහල උපසිරැසි සපයා ඇත්තේ, Monster.2022.S02E01.720p.NF.WEBRip.x264-Ga laxyTV [238MB] පිටපතට වන අතර මෙම නමින් ගූගල් සෙවුමක් කර පිටපතේ ටොරන්ට් එකක් ඔබට සොයාගත හැකිවනු ඇති.
මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්. එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්! තෙරුවන් සරණයි
එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි!
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 77 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
තෑන්ක්ස් බ්‍රො. මම කැමතිම ටයිප් එකෙ කතාවක්. ඔයා කලින් කරපු ඒවත් ඔක්කොම බැලුවා. ඇමරිකන් ක්‍රයිම් එක එහෙම. මෙක PSA Rip එකට සබ් දෙන්නකො පුළුවන්නම්. ආයෙ Fargo එකෙයි True Detective එකෙ අන්තිමට ආපු සීසන් වලට සබ් දීලා නෑ. ඒ දෙකටත් දෙන්නකො. ඒවත් මෙ ටයිප් එකෙම ඒවනෙ.
බොහෝම ස්තූතියි සහෝ
ඔයා ගේන්නෙම මේ වගේ මරු දේවල් තමයි
ඒ වගේම සවිස්තරාත්මක ලිපියටත් ස්තූතියි.