Game of Thrones [S4E10 – The Children] (18+)| නව බලාපොරොත්තු. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම? ඔන්න එහෙනම් අහම්බෙන් වගේ බාරගත්ත මේ සුපිරි කතා මාලාවේ හතර වෙනි අදියරේ අවසාන කොටසයි මේ අරගෙන ආවේ. ඒත් මේ කතා මාලාව අදියර 7 ක් ගෙනියන්න මුලින් තීරණයක් අරගත්ත බව තමා ආරංචිය. ඉන් අදියර 6 ක් මේ වෙද්දිත් තහවුරු කරල අවසානයි. ඒ කියන්නේ ඉතින් ලබන අවුරුද්දෙ විතරක් නෙවෙයි ඊළඟ අවුරුද්දටත් මේක දික් වෙලා කියන එකනේ.
මුලින්ම මේක බාරගත්ත සහෝට බෑ කිව්ව හින්දා තමා මම ඉදිරිපත් වුණේ. ඒ වගේම මේ කතා මාලාවට ආවේණික වෙනමම ඉතිහාස කතාවක් තියෙන නිසාම මම නිකන්ම වෙච්ච දේ විතරක් කියලා ඉන්නෙ නැතුව ඉතිහාසයත් ටිකක් කිව්වා කතාව හොඳට තේරුම් ගන්න හින්දා. මම හිතනවා මම සාර්ථක වුණා කියලා. කමෙන්ට් ඉල්ලන්නෙ නැතුව වුණත් කමෙන්ට් 100 පනින දවස් වගේම 100ට කිට්ටු වෙන අවස්ථාත් තිබුණා. ඉතින් ඊළඟ අදියර මම නැතත් බයිස්කෝප් අඩවියේ කවුරු හරි උපසිරසි අනිවා ලබා දෙයි. ඒ සඳහා වඩාත්ම ගැලපෙන දෙතුන් දෙනෙක්වත් මම පෙන්වන්නම්කෝ.
හොඳයි වෙනද වගේම අපි මතක් කරගම්මු පහුගිය කොටස. පහුගිය කොටස සම්පූර්ණයෙන්ම වෙන්වුණේ එක් ස්ථානයකට හා එක රැයකටයි. ඒ වගේම ඒ තමා ප්‍රාකාරයට හා එයට එල්ල වෙන ප්‍රහාරය පෙන්වන්නයි. කතාව ගලායන විධිය අනුව මේ කොට ආදිපාදට මරණ දණ්ඩනය ලැබුණ දා රාත්‍රියයි.
ප්‍රහාරය එල්ල වෙන වෙලාවේ සිදුවෙච්ච දෙවල් ඉතින් ආපහු කියන්න ඕනා නෑනේ. සර් ඇලිසර් ට ජෝන්ව මරවන්න ක්‍රස්ටර්ස් කීප් යවන්න කියලා උපදෙස් දුන්න ස්ලින්ට් පණ බයේ ගිලී ව ආරක්ෂා සහිතව තිබ්බ කාමරයටම ගිහින් හැංගෙන්න වුණා. සර් ඇලිසර් පිළිගන්නවා ඔහුට ජෝන්ගේ ඉල්ලීම ඉටු කරන්න තිබ්බ බවත්. යුද්දෙ කරගෙන යනකොට පහළට එන ඇලිසර්ට තුවාල වීම නිසා පහළට එන ජෝන් ව මරන්න යිග්‍රීට තිබ්බ අවස්ථාව ඇය පැකිලුණ නිසා ඇයත් අන්තිමේ මැරුම් කෑවා ජෝන්ගේ අත් මතම. කොහොමින් කොහොම හරි අවසානයේ ජෝන් තීරණය කරනවා මේ වනචාරි හමුදාව එකතු කරන්න නායකත්වය දෙන ප්‍රාකාරයෙන් එහා රජු වෙච්ච මෑන්ස්ව මරලා දාන්න එහාට යන්න. ඔහු ඒ වෙලාවෙදි සෑම්ට දෙන කඩුව තමා ඩැනේරිස් 8 වෙනි කොටසෙදි නෙරපපු ජෝරා මෝමන්ට් ගේ පියා වෙච්ච ජෝර් මෝමන්ට්ට පරම්පරාවෙන් ලැබුණු හා තම ජීවිතය බේරාගැනීම ගැන සතුටට පත්වෙලා ජෝන්ට කාස්ල් බ්ලැක් වලදී දීපු ලෝන්ග්ක්ලෝව් කඩුව.
හොඳයි කලින් කොටස් වල මම කියන්නම් කියලා කියපු කොටස් දෙකක් ගැන අද මම කතා කරන්න හිතුවා.
මුලින්ම කතා කරපු ඔවුන් අදහන ආගම ගැන.
මම කලින් කොටසෙදි කිව්ව වගේම ඇන්ඩල් වරුන්ගේ ආක්‍රමණයෙන් තමා Faith of the Seven කියන ආගම වෙස්ටරොස් වැසියන් වැළඳගන්නේ. හැබැයි තවමත් උතුරේ (Old Gods of the Forest) හා අයන් දූපත් වල (Drowned God) ඇරෙන්න අනික් සියලුම ප්‍රදේශ වල ප්‍රධාන ආගම තමා සත් ඇදහීම කියන්නේ.
එම ආගමට අනුව මුහුණු සතක් හෝ පෙනුම් සතක් ඇති එක් දෙවියෙක්ව ඔවුන් අදහනවා. සාමාන්‍ය භාවිතයේදී “සත් මුහුණු දෙවියන්” හෝ “සත් දෙවියන්”ලෙස හෝ “සත” ලෙසඳ හැඳින්වේ. එසේම නව දෙවියන් යන යෙදුමද භාවිතා වේ. එම සත් ආකාර නම්,
පියා: දිව්‍යමය යුක්තිය හා මළවුන්ගේ ආත්ම විනිශ්චය නිරූපණය කරයි.
මව: කරුණාව, සාමය, සාඵල්‍යය හා දරු උපත නිරූපණය කරයි. විටෙක කාන්තාවගේ ශක්තිය ලෙසද හඳුන්වයි.
කන්‍යාව: පාරිශුද්ධත්වය, ආදරය හා ලස්සන නිරූපණය කරයි.
මැහැල්ල: නුවණ හා දූරදර්ශීභාවය නිරූපණය කරයි. ඇයව ලන්තෑරුමක් ගෙන යන ආකාරයෙන් නිරූපණය වේ.
රණ ශූරයා: ශක්තිය හා යුද්ධයකදී ධෛර්යය නිරූපණය කරයි.
ආචාරියා: නිර්මාණත්වය හා ශිල්පීය නිපුණතාව නිරූපණය කරයි.
අමුත්තා: මරණය හා නොදන්නා කම නිරූපණය කරයි. එයට අයදුම් කරන්නේ කලාතුරකිනි.
මින් අමුත්තා කාන්තා හෝ පිරිමි ගණයට නොගැනෙන අතර ඒ අනුව පිරිමි ස්වරූප 3 ක් කාන්තා ස්වරූප 3 ක් හා ඒ දෙකොටසටම අයත් නොවන කොටසකින් සමන්විත වේ. මේ අනුව චිත්‍ර වල්දී පිරිමි හා කාන්තා ස්වරූප මිනිස් ආකාරයෙන් නිරූපණය වන අතර අමුත්තාගේ ස්වභාවය භයවීමක් ලෙස හෝ ඇට සැකිල්ලක් ලෙස නිරූපණය වේ.
මෙසේ අංක සත යන ඉලක්කම වෙස්ටරොස් වල ශුද්ධවූ ඉලක්කමක් විදියට තමා සැලකෙන්නේ. අලුත උපන් ළදරුවන්, ඉපිද පැය 7 ක් තුළ සත් තෙලින් ආලේප කර නම් තබනු ලබයි. එසේම දිව්‍යලෝක සතක් හා අපායන් සතක් පවතින බවද ඔවුන් විශ්වාස කරයි.
එසේම එක් දෙවියෙක් මුහුණුවර සතක් යන්න ඒත්තු ගැන්වීමට දේදුන්න හා සත් කොන් ඇති තරුව සංකේතාත්මකව භාවිතා කරනු ලබයි. සත් කොන් තාරකාව නම් ග්‍රන්ථය ඔවුන්ගේ ශුද්ධවූ ග්‍රන්ථය වේ. කොන් සතක් ඇතිව සාදන Septs නම් ගොඩනැඟිලි තුළ ඔවුන්ගේ වන්දනාමාන කටයුතු කරගෙන යනු ලබයි.
හැබැයි මෙම ආගමෙත් අනාචාරය, රාජ ඝාතනය හා අවජාතක කම ගැන නීති පනවලා තියෙනවා. ඒ වගේම සමලිංගික සේවනය පාපයක් විදියට සලකනවා කියලා තමා කියවෙන්නේ. ඒ කියන්නේ ඒක රහසේ විය යුතුයි. (මතකද මන්දා රෙන්ලි බැරැතියන් මාජරී විවාහ වුණේ අනික් අයට පේන්න. හැබැයි එයා හැසිරුණේ වෙන විදියකට.) හැබයි රොයිනාර් වැසියන් හා මිශ්‍ර වෙච්ච ඩෝන් වැසියෝ මේ සංකල්ප එච්චර තකන්නෙ නෑ. ඒ හින්දම තමා ඕබ්‍රන් මාටෙල් කුමාරයා හා එලාරියා සෑන්ඩ් විවෘතව ඒ කටයුතු වල යෙදුණේ.
හොඳයි ඊළඟට අපි බලමු නයිට්වරු ගැන.
නයිට්වරයා කියන සංකල්පය පැමිණියේ කලින් කියපු ආගම වගේම ඇන්ඩාල් සංස්කෘතියෙන්. ඒ වගේම නයිට්වර සංකල්පය සත් දෙවියන් නම් ආගම සමඟ බොහොම තදින් වෙලී පවතිනවා. එම නයිට්වරයා කියන සංකල්පය තුළ ගෞරවාන්විත රණශූරයෙක් පමණක් නොව සත් දෙවියන්ට ගෞරවාන්විතව කැපවුණු (අදහන ආකාරය එකිනෙකාට වෙනස් වුවත් ) අයෙක් යන්නද කියවෙනවා.
Faith of the Seven ආගම ප්‍රධාන ආගම නොවන උතුරේ හා අයන් දූපත් වල මෙම නයිට්පදවී ප්‍රදානය කිරීම ඉතාම විරලයි. එම නිසාම බොහොම දක්ෂ රණශූරයෙක් වුණත් නයිට් පදවි දරාසිටින්නේ අතළොස්සක් පමණයි. උදාහරණයක් විදියට නෙඩ් ස්ටාක් පවා තම පැරණි දෙවියන් අදහන බැවින් නයිට්වරයෙක් නොවෙයි. එහෙම වුණත් උතුරු වැසියන් වෙච්ච සර් රොඩ්‍රික් කසෙල්ට හා සර් ජෝරා මෝමන්ට් ට නයිට් පදවි ලැබුණා තමන් සටන් කළ ප්‍රධානීන් සත් දෙවියන් අදහන හින්දා.
ඒ වගේම වෙස්ටරොස් සත් රාජධානී වලට පිට වනචාරීන්ගෙවත්, පටු මුහුදට එහා එසොස් වලවත් සත් දෙවියන් අදහන්නෙ නැති හින්දා නයිට් පදවිය කියලා දෙයක් නෑ. හැබැයි එසොස් වලට වෙස්ටරොස් වලින් ගියපු නයිට් වරු නම් ඉන්නවා.
සාමාන්‍යයෙන් නයිට්වරයෙක් වීමට ඉතා වෙහෙසකර, කාලාන්තරක් ගතවෙන පුහුණුවක් ලැබිය යුතු වෙනවා. එසේ පුහුණුවන අයව හඳුන්වන්නේ Squire හෙවත් සහචරයා හෝ අතවැසියා යන නාමයෙන්. ඔවුන්ට තම ස්වාමීන්ගේ පලිහ, ආයුධ, අශ්වයන් බලාගැනීම හා සටනකට සුදානම් කිරීම හා පණිවිඩ රැගන යෑම් වැනි දේවල් කරන්න වෙනවා. ජේමි ලැනිස්ටර් වල වතාවක් බැරිස්ටන් සෙල්මිගේ අත වැසියෙක් විදියට ඉඳලා තියෙනවා.
හැබැයි සාමාන්‍ය අයට මේ නයිට් පදවි ලබා ගැනීම අසීරුයි වගේම නයිට්වරයෙක්ගේ දරුවන්ට පවා නිකන්ම නයිට් පදවිය ලැබෙන්නෙ නෑ. ඊට පුහුණු විය යුතුයි. හැබැයි යුද කාල වල බොහොම හොඳින් සටන් කරන සාමාන්‍ය අයට පවා නයිට් පදවි ප්‍රධාන කර තිබෙනවා. උදාහරණ විදියට රොබට් රජුගේ කැරැල්ල වෙලාවෙදි තම බලකොටුවා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ස්ටැනිස් බැරැතියන් විසින් ඩාවෝස් සීවර්ත්ව නයිට් පදවියට පත් කළා වගේම සාමාන්‍ය කුලී හේවායෙක් වෙච්ච බ්‍රොන්ව බ්ලැක්වෝටර් සටනෙන් පස්සෙ කොට ආදිපාද විසින් නයිට් පදවියකට පත් කළා මතක ඇති.
යුද සමයන් වල බොහොම වටිනා සම්පතක් වෙන නයිට් වරු සාමකාමී කාල වල ක්‍රීඩා තරඟ වැඩි ද්වන්ද සටන් වලට යොමුවෙනවා. මතක ඇතිනේ අර අශ්වයන් පිට නැගලා ලී වලින් හදපු දිගටි හෙල්ල දෙකකුත් අරගෙන කරන සෙල්ලම. මුදල් ත්‍යාග, තත්වය, කීර්තිය වගේම ක්ලේගන් වගේ අයනම් ප්‍රචණ්ඩත්වයට තියන ආශාව නිසාම මේ තරඟ වලට සහභාගී වෙනවා.
වංශවත් පවුල්වලින් නොපැමිණි අයක් වුණත් නයිට් පදවියකින් පිදුම් ලැබුවාට පස්සෙ තමුන්ගේම පරපුරක් නැත්තම් වංශයක් පවත්වාගෙන යන්න අවසර ලැබෙනවා.
අවුරුදු 300 කට කලින් ටාගේරියෙන් විජයග්‍රහණයෙන් පස්සේ පළවෙනි ටාගේරියන් රජතුමා වෙච්ච ඒගොන් රජතුමා විසින් හොඳම හා අති දක්ෂ නයිට්වරු සත් දෙනාව කිංග්ස්ගාඩ් ආරක්ෂක අංශය විදියට වෙනම කොටසක් බවට පත් කරනවා. හැබැයි මේ අයට නයිට්ස්වොච් ආරක්ෂකයන්ට වගේම ජීවිත කාලෙ පුරාම ඉඩ කඩම් තියාගන්න හෝ පවුල් වෙලා දරු පරපුරක් ගෙනියන්න තහනම්. ඔවුන් සත් දෙනාගෙන් එක් අයෙක් ඔවුන්ගේ ප්‍රධානියා ලෙස පත් වෙන අතර සාමාන්‍ය තත්ව යටතේ රජු සමඟ කුඩා කවුන්සිලයේ අසුන් ගන්නවා.
කලින් හිටපු මේ අය ගැන කෙටියෙන් කියනවනම්,
පිස්සු රජ හෙවත් දෙවන ඒරිස් ටාගේරියන් යටතේ:
ප්‍රධානියා සර් ජෙරෝල්ඩ් හයිටවර්. (රොබට් රජුගේ කැරැල්ලෙදි නෙඩ් ස්ටාක් ගේ හමුදා අතින් රතු කඳු මතදී මියගියා.)
සර් ආතර් ඩයින්, සර් ජෙරෝල්ඩ් සමඟ මිය යන ලදී.
සර් ඔස්වෙල් වෙන්ට්, සර් ජෙරෝල්ඩ් සමඟ මිය යන ලදී.
තව දෙදෙනෙක් එම කැරැල්ලේදීම හා සර් ග්වයින් ගවුන්ට් ඊට කලින් මිය යන ලදී.
සර් ජේමි ලැනිස්ටර්, පිස්සු රජාව මරා දමන ලදී.
සර් බැරිස්ටන් සෙල්මි.
රොබට් බැරැතියන් රජු යටතේ:
ප්‍රධානියා සර් බැරිස්ටන් සෙල්මි.
සර් ජේමි ලැනිස්ටර්.
සර් බෝරෝස් බ්ලොවුන්ට්.
සර් ප්‍රෙස්ටන් ග්‍රීන්ෆීල්ඩ්.
සර් මැන්ඩොන් මූර්.
සර් ඒරිස් ඕක්හාට්.
සර් මේරින් ට්‍රාන්ට්.
ජොෆ්‍රි රජු යටතේ බ්ලැක්වෝටර් සටන තෙක්,
ප්‍රධානියා සර් ජේමි ලැනිස්ටර්.
සර් බෝරෝස් බ්ලොවුන්ට්.
සර් ප්‍රෙස්ටන් ග්‍රීන්ෆීල්ඩ්.
සර් මැන්ඩොන් මූර්. (සටන් කරන ගමන් තමුන්ගේ පැත්තේ කොට ආදිපාදව මරන්න ගිහින් පොඩ්‍රික් අතින් මැරුම් කන්නේ මෙයා තමා.)
සර් ඒරිස් ඕක්හාට්. සර්සිගේ දුව වෙච්ච මයිසෙලා ව ඩෝන් වෙත යවන කොට ඇය සමඟ ආරක්ෂාවට යවා ඇත.
සර් මේරින් ට්‍රාන්ට්.
සැන්ඩෝර් ක්ලේගන්. (සටනෙන් පස්සෙ ආර්යා එක්ක රාජ සේවයෙන් පැනයන කෙනා.)
ජොෆ්‍රි රජු යටතේ බ්ලැක්වෝටර් සටනෙන් පසු.
ප්‍රධානියා සර් ජේමි ලැනිස්ටර්.
සර් බෝරෝස් බ්ලොවුන්ට්.
සර් මේරින් ට්‍රාන්ට්.
සර් ප්‍රෙස්ටන් ග්‍රීන්ෆීල්ඩ්.
සර් ඒරිස් ඕක්හාට්. තවමත් ඩෝන් හී සිටී.
සර් බේලන් ස්වෝන්.
එක් ස්ථානයක් හිස්ව පවතී. එම තනතුරට ටයිරෙල් වංශයේ එකම උරුමකරු වූ ලෝරස් ටයිරෙල්ව පත්කොට ටයිරෙල් වංශය නිමකරන බවට ටයිවින් ලැනිස්ටර් ඔලෙන්නා හට තර්ජනය කළමුත් එය සිදුනොවීය.
මේ වගේම මකර මව වෙන ඩැනේරිස්ටත් වෙනම ආරක්ෂක කණ්ඩායමක් සිටිනවා.
එහෙනම් ඔය ඇති ඉතිහාස කතා. මෑන්ස් රයිඩර්ව මරන්න යන ජෝන් ට මොනා වෙයිද, කොට ආදිපාදගේ මරණ තීන්දුවෙන් පස්සෙ වෙන්නෙ මොනාද, ඊළඟට මැරෙන චරිතය/චරිත කවුද? ඒ ගැන එහෙනම් අද කොටසෙන් බලන්න. වෙනදා වගේම මෙන්න තරිඳු සහෝගේ විඩියෝ ටිකත් තියෙනවා.
ප.ලි.
තව ටිකෙන් අමතක වෙනවා. පස්වෙනි අදියරට මට උපසිරසි දෙන්න බැරිවුණොත් මම නම් කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ආසිරිගෙන් උපසිරසි ඉල්ලගන්න කියලයි. දැක්කනේ කලින් වතාවේ කමෙන්ට් එක. මටත් වඩා එහාට ගිහින් කරුණු හොයලා සෑහෙන සාරවත් කමෙන්ට් එකක් දාලා. ඒ වගේම තවත් මේ වැඩේට සුදුසුකම් තියෙන අය විදියට සිරාජ් හා විමාව මම යෝජනා කරනවා. GOT වෙනුවෙන් මුන් තුන් දෙනා මරාගෙන මැරෙන්න වුණත් සූදානම් බව ඔප්පු කරන සටන් කීපයක්ම මූණූ පොතේ පහුගිය දවස් වල ඇතිවුණා. අනිවා ඔන්න එහෙනම් මම සමුගන්නේ අලුත් බලාපොරොත්තුවක් දීලයි. එහෙනම් මම ගියා. Arrivederci…..319
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 62462 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/royli.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
151 thoughts on “Game of Thrones [S4E10 – The Children] (18+)| නව බලාපොරොත්තු. [සිංහල උපසිරැසි සමඟ]”