සුබ දවසක් මිත්‍රවරුනි, මේ වතාවේ මං සිංහල උපසිරැසි අරගෙන ආවේ පැරණි ප්‍රේමාන්විත හින්දි සිනමා පටයකට. ඒ තමයි Gadar: Ek Prem Katha (2001). ‘දේශසීමා ඉක්මවා ගිය ප්‍රේම කාව්‍යයය’ කිව්වාම ඔයාලට මතක් වෙන්නේ Veer Zaara (2004) චිත්‍රපටය නේද? මේ Gadar: Ek Prem Katha (2001) චිත්‍රපටයත් ඒ වගේම පාකිස්ථානයේ සහ හින්දුස්ථානයේ ජනවර්ග දෙකකට අයත් තරුණ යුවළකගේ දෙහදක් ආදරයෙන් බැඳුණු හැටි ගැන අපට කියාදෙන සුන්දර සිනමා පටයක්. මේ චිත්‍රපටයට පදනම් වෙන්නේ 1947 දී ඉන්දියාව සහ පාකිස්ථානය වෙන් කරවීම හා සමගාමීව සිදුවුණු සත්‍ය ඓතිහාසික සිදුවීම් කිහිපයක් ද පාදක කරගනිමින් බූතා සිං යන සත්‍ය චරිතයේ කතාව සුළු වශයෙන් පාදක කරගනිමින් ශක්තිමාන් තල්වාර් විසින් රචනා කළ ඓතිහාසික කතා තේමාවක්. සනී ඩියෝල්, උත්කර්ෂ් ෂර්මා, සහ අමිෂා පටේල් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, අම්රිෂ් පූරි, විවේක් ශාක් විසින් සහයක චරිත නිරූපණය කරනවා. ඉන්දියානු රුපියල් කෝටි 18.5ක නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය වුණු මේ සිනමා පටය 2001 ජුනි 15 වැනිදා තිරගත කිරීම ඇරඹීමෙන් පසුව, අශුතෝෂ් ගෝවාරිකර්ගේ Lagaan (2001) සිනමාපටයට තරඟකාරීව යමින් ලෝකය පුරා ප්‍රදර්ශනයෙන් පසුව ඉන්දියානු රුපියල් කෝටි 133.5ක අතිදැවැන්ත ආදායමක් උපදවන්නට සමත් වුණේ, Hum Aapke Hai Kaun (1994) සිනමා පටන් පසුව දැවැන්තම ආදායමක් ඉපැයූ සිනමාපටය බවට ඉතිහාසයේ වාර්තා අතරට එක් වෙමින්. සමස්තයක් ලෙස නාට්‍යානුසාරී සහ ගැටුම් ජවනිකා, මියුරු සංගීතය සම්බන්ධයෙනුත් පොදුවේ සනී ඩියෝල්, අම්රිෂ් පූරි සහ අමීෂා පටේල්ගේ විශිෂ්ඨ රඟ දැක්වීම් වෙනුවෙන් මේ සිනමා පටය ලොවපුරා විචාරකයන්ගේත් රසිකයන්ගේත් පැසසුමට ලක් වුණා. 1980න් පසුව දෙවැනියට වැඩිම නැරඹුම් වාර ගණනක් ලද සිනමා පටය ලෙසින් ඉතිහාසයට එකතු වෙන්නේ Gadar: Ek Prem Katha (2001) සිනමාපටයයි. එහි පළමු තැන Baahubali 2 සිනමාපටය හිමිකර ගන්නවා. මේ සිනමාපටය 47 වැනි FilmFare සමාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය සහ හොඳම සංගීතය ඇතුළුව ඛණ්ඩ 9ක් යටතේ සම්මානයට නිර්දේශ වී, අමීෂා පටේල් විසින් FIlmfare Special Award සම්මානය දිනාගන්නට සමත් වුණා. මෙහි සංගීතය නිර්මාණය කළේ උත්තම් සිං විසිනුයි. සියලුම ගීත වල පාද රචනා ආනන්ද භක්ෂි විසින් රචනා කළ අතර, සනී ඩියෝල් වෙනුවෙන් උදිත් නාරායන් ද, අමීෂා පටේල් වෙනුවෙන් අල්කා යාග්නික් ද ගී ගායනා කරනු ලැබුවා. මෙහි ගී හඬ පටය පිටපත් මිලියන 2.5ක් අලෙවි වී තිබුණු බව වාර්තා වෙනවා. 2023 ජුනි 09 වැනිදා Zee Studios විසින් 4K Resolution පිටපතකට remaster කරන ලද අතර Dolby Armos ශබ්ද තාක්ෂණයෙන් යුතුව සීමිත සිනමාහල් ගණනක නැවත තිරගත කෙරුණා. මිනිත්තු 184ක ධාවන කාලයකින් යුතු වුණු මෙහි තිරගත කෙරුණු පිටපත පසුව නිකුත් වුණු ඩිජිටල් Remastered පිටපතෙහි මිනිත්තු 182කට වෙනස් කෙරී තිබෙනවා. 2023 අගෝස්තු 11 වැනිදා මෙහි දෙවැනි කොටසක් ද අමිශාගේ, සනී ඩියෝල්ගේ සහ උත්කර්ෂ් ශර්මාගේ චරිත යළි පණගන්වමින් Gadar 2 නමින් තිරගත කෙරුණු අතර එයද ඉන්දියානු රුපියල් කෝටි 60ක නිෂ්පාදන පිරිවැයකට එදිරිව ඉන්දියානු රුපියල් කෝටි 691ක ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් බ්ලොක්බස්ටර් සිනමාපටයක් බවට පත් වුණා.

Gadar (2001) සිනමා පටයේ විවිධ නිකුත් කිරීම් වල පෝස්ටර් [වමේ සිට පිළිවෙලින්], Gadar 2 (2023) සිනමා පටයේ පෝස්ටරයක් [දකුණේ]
සුදු අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට ලක් වුණු අපේ අසල්වැසි ඉන්දියාව, එකල බ්‍රිතාන්‍ය ඉන්දියාව ලෙසින් හඳුන්වනු ලැබ තිබී 1947දී ඉන්දියන් සමුහාණ්ඩුව සහ පාකිස්ථානු ඩොමීනියන් රාජ්‍යය ලෙසින් කොටස් දෙකකට වෙන් කරනු ලැබුවා. එදා ‘ඉන්දියානු සමූහාණ්ඩුව’ අද ‘ඉන්දියානු ජනරජය’ වී ඇති අතර ‘පකිස්තානු ඩොමීනියන් රාජ්‍යය’ අද වනවිට ‘පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය‘ සහ ‘බංගලාදේශ මහජන සමූහාණ්ඩුව’ යනුවෙන් කොටස් දෙකකට කැඩී ගිහින්. බ්‍රිතාන්‍යයන් මෙලෙස සිය යටත් විජිතයන්ට ඩොමීනියන් තත්වයේ නිදහසක් ලබාදෙන්නට පෙර හින්දු සහ මුස්ලිම් ජන වර්ග පදනම් කරගනිමින් බෙදා වෙන් කිරීමේ සිදුවීමේදී එරට තුළ අති දැවැන්ත දේපළ හානියක් සහ දැවැන්ත ජීවිත හානි සිදු වී තිබෙනවා. ඔවුන් එය සිය රාජ්‍ය පාලනයේ පහසුව තකා ලෝකයේ ඔවුන්ගේ යටත් විජිත වල සිදු කළ උපක්‍රමයක්, බෙදා වෙන් කර පාලනය කිරීම හෙවත් ‘Divide and Rule’. යටත් විජිත වල ජනවාර්ගික සමගිය එරටවල් තුල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යයට තර්ජනයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැතුව ඇතැයි සිතනවා. මේ අනුව 1947 අගෝස්තු 14 සහ 15 යන දෙදින ලොව වාර්තාගත දැවැන්තම බලහත්කාරී සංක්‍රමණය සිදු කෙරුණේ ඉන්දියානු උපමහාද්වීපය, හින්දු බහුතර ඉන්දියාවකුත් මුස්ලිම් බහුතර පාකිස්ථානයකුත් වශයෙන් රාජ්‍යයන් දෙකකට බෙදා වෙන් කිරීමේ ප්‍රයත්නය වෙනුවෙනුයි. මිලියන ගණනක හින්දුන්, මුස්ලිම්වරු සහ සික් ජාතිකයන් සැතපුම් සිය ගණනක් දුරට බලහත්කාරයෙන් පළවා හරිනු ලැබූ අතර, ගමන අතරමඟදී දැවැන්ත සාහසික ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දීමට ද ඔවුන්ට සිදුවී තිබුණා. අධික ලෙස පිරි ඉතිරි ගිය දුම්රිය වලට විවිධ ජාතිවාදී කල්ලි කඩාපැන මගීන් සමූහ වශයෙන් ඝාතනය කරනු ලැබුවා. වසර දහස් ගණනක් සහජීවනයෙන් ජීවත් වුණු ඔවුන්ව ජාතිවාදී ප්‍රචණ්ඩත්වයකට ගොදුරු කරන්නට මේ කෝලහාලයන් හේතු වුණා. එහිදී මිලියනයකට අධික ජීවිත ගණනක් අහිමි වුණු අතර, මිලියන 10-12ක් පමණ ජන කොටසක් වර්ගවාදී පදනම යටතේ සංක්‍රමණය කරවනු ලැබුවා. ඒ ඉතිහාසය ගැන වැඩි විස්තර සඳහන් කරන්නේ නැහැ. මේ කොටස කෙටියෙන් ලිව්වේ එය මේ සිනමා පටයේ පසුබිම් කතාවට අදාළ වන නිසයි.

1947 දෙරට අතර පළවා හැරුණු සංක්‍රමණික ජනයා (වමේ), සංක්‍රමණිකයන් වර්ගවාදීන්ගේ ප්‍රහාරයට ලක්වන අන්දම Gadar චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වුණු අන්දම (දකුණේ)
දැන් අපි චිත්‍රපටයේ කතාව වෙත යොමු වෙමු. 1947 ඉන්දියානු බෙදීමේ ප්‍රචණ්ඩකාරී අවධියේදී, සංක්‍රමණික ජනගහනය ඉන්දියාවේ සහ පාකිස්තානයේ අලුතින් පිහිටුවන ලද දේශසීමා වෙනුවෙන් ගැටුම් ඇතිවෙනවා. මෙහිදී හින්දු මුස්ලිම් ගැටුම් නිසා දේශසීමා ඔස්සේ බලහත්කාරයෙන් යවනු ලැබූ සංක්‍රමණිකයන් ගමන් කළ දුම්රිය වලට විවිධ කල්ලි වල ප්‍රහාර එල්ල වී ජීවිත විනාශ වීම් සිදුකරනවා. මේ කෝලහාල මධ්‍යයේ අශ්රොෆ් අලී නම් මුස්ලිම් ව්‍යාපාර හිමියාටත් සිය පවුල සමඟින් ලාහෝරයට යන්නට සිදුවෙනවා. එහිදී දුම්රියට ගොඩ වීමේදී ඔවුන්ට සිය දියණිය සකීණා මඟහැරෙනවා. ජීවිත බේරාගනිමින් පලා යන මුස්ලිම්වරුන්ට පෑගීමෙන් ඇයට තුවාල සිදුවෙනවා. දුම්රිය ස්ථානයේ ඇද වැටී සිටින ඇයව, මුස්ලිම්වරුන් ඝාතනය කිරීමට සහභාගී වූ ඉන්දියානු සික් ජාතික තාරා සිංට හමුවන්නේ මේ කෝලහාල සහගත තත්වයන් අතරමඟදී. ඔවුන්ගේ විද්‍යාල අවධියේ හිතවත්කම නිසා ඔහු ඇයව හඳුනාගෙන, ඔහු ඇයව සතුරු මැර පිරිසකින් ආරක්ෂා කරගන්නවා. ඇයව ආරක්ෂා කිරීම සඳහා, ඔහු ඇගේ නළලට ලේ ආලේප කර, සංකේතාත්මකව ඇයව තම සික් බිරිඳ ලෙස ප්‍රකාශ කරනවා. මේකෙන් පස්සේ චිත්‍රපටය ගමන් කරන්නේ එයාලා දෙන්නගේ පාසල් කාලයේ මතකයන් දක්වා. විද්‍යාලයට සැපයුම් බෙදා හරින ට්‍රක් රථ රියදුරෙක් වන තාරා, ගායනය සඳහා ආශාවක් ඇති අයෙක්. මුලදී, සකිනාගේ මිතුරියන්, ඔහුගේ කම්කරු පසුබිම නිසා, ඔහුව රවටමින් විහිලුවට ලක් කරනවා. පස්සේ ඔහුගේ ගායනයක් අහලා ඔහුගේ දක්ෂතාවය ඔවුන් හඳුනා ගන්නා අතර ඔහුගේ ගායනයෙන් ඔවුන්ව විශ්මයට පත් කරනවා. ඔහුගේ දක්ෂතාවය ගැන පැහැදෙන සකීණා, ඔහුගෙන් සමාව ඉල්ලා, විද්‍යාල බලධාරීන් හමුවේ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී, විද්‍යාල උත්සවයකදී ඔහුට ගයන්නට අවස්ථාවක් ලබා දෙනවා. ඒ මේ සිනමා පටයේ තියෙන හරිම උද්යෝගීමත්, ලස්සනම ගීතයක්.
“මං පිටත් වුණා, මගේ රථය අරගෙන….
ගමනේදී, අතර මඟදී, එක හන්දියක් ආවා,
මා එහි හදවත හැර දමා ආවා!”
මේ අනුව ඔවුන් අතර සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා වගේම තාරා විද්‍යාලයේ තවත් ජනප්‍රිය වෙනවා. සකිනාගේ විද්‍යාල උපාධිය ලැබීමෙන් පසු, තාරා ඇයට වෙන්වීමේදී ත්‍යාගයක් ලෙසින් කුඩා ටජ්මහල් අනුරුවක් ලබාදෙනවා. ඒ තමයි අතීත කතාව.

ඉන්දියාව බෙදීමේ භීෂණය ඉක්මනින්ම තාරාගේ පවුල ගිල ගන්නවා. සංක්‍රමණය වීමට උත්සාහ කරන ඔහුගේ දෙමව්පියන් සහ සහෝදරියන් මුස්ලිම් පිරිසක් විසින් පහර දෙන ලද දුම්රියකදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබෙනවා. තාරා මෙම සංහාරය දකින අතර, ඔහුගේ පළිගැනීමේ ක්‍රියාවන්ට ඉන්ධන සපයනවා. කෝපයට පත් අනෙකුත් හින්දු සහ සික්වරුන් සමඟ, ඔහු පාකිස්තානයට පලා යන මුස්ලිම්වරුන්ට එරෙහිව සමූලඝාතනවලට සහභාගී වෙනවා. හදිසියේ සිය අතීත ප්‍රේමය වන සකීණා හමුවීමෙන් පසුව ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වන්නට තීරණය කරන්නේ සික් ජාතික අසල්වැසියන් සහ හිතවතුන්ගේ විරෝධය මධ්‍යයේදීයි. ඇගේ පවුලේ සියලු දෙනා මරා දැමුණු බව ආරංචි වී සකීණා තාරාගේ ජීවිතයට ඒකාබද්ධ වෙනවා. ඇගේ ආගමික පසුබිම නිසා සමාජ පීඩනයට මුහුණ දෙමින්, ඇය සරණාගත කඳවුරකට යාමට තීරණය කරනවා. කෙසේ වෙතත්, තාරා කෙරෙහි ඇති ඇගේ ආදරය අවබෝධ කරගත් ඔවුන් විවාහ වෙනවා. කෙසේ හෝ තාරාගේ ඥාතීන් ඇයව පිළිගන්නවා.
“උද්‍යාන වල එකම පැද්දිල්ලකි, ඉදී බරවුණු අඹ පල….
මේ කෙටිම කෙටි ජීවිතයේ, රාත්‍රීන් දිගයි… දිගයි…
කාලයත් සමඟ ඔවුන් ජීට් නම් පුතෙකු ලබනවා. මේ අතර හදිසියේ සකීණා දැනගන්නවා තමන්ගේ පියා, අශ්රෝෆ් අලී ජීවතුන් අතර ඉන්නා බව. ඒ වෙද්දී ඔහු ලාහෝරයේ නගරාධිපතිවරයෙක්. දුරකථනයෙන් ඔවුන්ට අමතන ඇය පිළිගැනීමට අශ්රොෆ් අලී ගුවන් යානයක් එවනවා. එහෙත් වීසා සම්බන්ධ ප්‍රශ්නයක් නිසා පුතාට ගුවන් යානයට යන්නට නොහැකි වීම නිසා සකීණා පමණක් ගුවන් යානයෙන් යවන්නේ, වීසා ප්‍රශ්නය විසඳා ගත් පසුව තාරා සිය පුතා ද සමඟින් යළි එන බව කියමින්. ප්‍රශ්නය ආරම්භ වෙන්නේ පවුල සමඟ එක්වන සකීණා වෙනත් මුස්ලිම් මිනිසෙක්ට විවාහ කරවීමට අශ්රොෆ් අලී උත්සාහ කිරීමත් සමඟයි. වීසා ලබාගැනීමට පැමිණෙන තාරා දැනගන්නවා දරුවාගේ වීසා පමණක් නොව තමන්ගේ විසා ද අවලංගු කෙරී ඇති බව.
“අප වෙන් වී ගියෙමු, මං මුලා වී සිටිමු…
එහෙත් අප හමු වුණොත්, අප හමුවේවි..
මෙය මතකයේ තබා ගනු මැන,
මා වෙනුවෙන් රැඳි සිටිනු මැන.”
සකීණා ඉන්දියාවේදී බලහත්කාරකමින් තබාගෙන සිටි බවට අශ්රොෆ් ව්‍යාජ පුවත් යවමින් තාරාට අපහස කරනවා. මේ සියල්ල මැද, නෛතිකව පාකිස්ථානයට යන්නට අයිතිය නිර්දය ලෙස අහිමි කිරීමෙන් පසුව තාරා සිං යළිත් සිය බිරිඳ සොයා සිය පුතු චිරංජිත් සමඟින් අනීතිකව පැමිණෙන්නට තීරණය කරනවා. ඒ ගමන අතරතුර ඔවුන් කුමන අත්දැකීම් වලට මුහුණ දෙනු ඇතිද? ඔවුන්ට සකීණා හමුවෙනු ඇතිද?
සකීණාගේ ඉරණම කවුරුන් සමඟ විසඳෙනු ඇතිද? ප්‍රේමයේ සහ මානව බැඳීම් වල අගයත්, වර්ගවාදී ඝට්ටනයන්ගේ අනිසි ඵලයන් ද විදහා දක්වන මේ සුන්දර සිනමා පටය නරඹලා කතාවේ ඉතුරු ටික සිංහල උපසිරැසි සමඟින් දැනගන්න එහෙනම්.
මං මෙහි සිංහල උපසිරැසි ගන්වා
ඇත්තේ Gadar.Ek.Prem.Katha.2001.720p.WEBRip.x264.AAC-[YTS.MX] [1.59 GB] පිටපතටයි.
පේළි 1900කට අධික දිගු උපසිරසියක් වුණු මේක මගේ එකසිය හතළිස් හය වැනි සිංහල උපසිරැසියයි.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
ස්තූතියි ප්‍රබුද්ද සහෝ උපසිරැසියට